තොටුපලට අපි ලඟාවෙනකොට හිරු මුදුනට ඔන්න මෙන්න.එදා ඔරුවෙන් ගිය ගමන අපි අද එන්ජිමක් ඇති බෝට්ටුවකින්.කාලය මැවු වෙනසක අරුමය ගෙන හැර දක්වමි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල් දූව එදා කියු සුන්දරත්වයෙන්ම පවතිනවාද? සියල්ලෝ මැද මගේ සිත කුතුහලයෙන්.යකඩ පාලම යටින් බෝට්ටුවෙන් රිංගා,කලපු දිය දෙබෑ කරගෙන සොඳුරුතම පා තැබුමකට ආසාවෙන් හිත මටත් හොරාම.ශ්‍රී ලංකාවේ එකම ස්වාභාවික කලපුව.දිය පෝෂක නොමැති අහස් දිය හා උනන දියෙන් පිරී පවතින්නකි. වර්ෂ 1910 පමණ වූ කාලයේ දකුණු පළාතේ ග්‍රාමයන්හි ජීවත් වූ ගැමියන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් ජීවන අත්දැකීම් පිළිබද කල විවරණය සිහියට ආවත් එය හාත්පසින්ම වෙනස් වී ඇත. දිය දෙබෑ කරමින් බෝට්ටුව ඉදිරියට ඇදෙයි. ගොඩබිම පරිසරය අවට පොල් රුප්පාව මැදින් මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ අපූරු නිවහන ද ඈතින් දිස් වෙයි. කඩොලාන වලින් සුසැදි අපූරු පරිසරය හා තුරු වදුලු ද ඈතින් පෙනෙන කුඩා කුඩා දූපත් ද එක් කළේ චමත්කාරයකි. කරදිය පිරි කලපුවේ මාළුන් විශාල වශයෙන් සිටින අතර, පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් හට නැරැඹීම පිණිස මාළුන් සිටින ප්‍රදේශයක් වෙන් කොට ඇත. එය නැරඹිය යුත්තේ මුදල් ගෙවීමෙන් අනතුරුවය. ඔය දකුණු පස කුරුළු දූපතකි. එහි විශාල වශයෙන් කුරුල්ලන් ද වාසය කරයි. සියල්ල පරදා මගේ සිත දිවෙන්නේ මඩොල්දූව නව කතාවේ එන උපාලි ගිණිවැල්ලේ හා ජින්නා පිළිබඳ මතකය වෙතය. මඩොල්දූවේ ජීවත් වූවායි ගම්මුන් බිය වැද්දූ මිනී මරුවා, රෑට ඔරුවෙන් ඔහු සොයා එන ගැහැනිය සහ දරුවා මෙන්ම ගොරහැඩි කිඹුල් තඩියා, ජින්නාට දෂ්ට කළ හැපින්න, ගින්දර හිස මත තබාගෙන එහා මෙහා යන හොල්මන වගේම උපාලි ගිණිවැල්ලේ මඩොල් දූව වෙත ගොස් හිටුවූ අල බතල, එළවළු , කෙසෙල් වගාවන් යන සියල්ල ද මා ඉදිරියේ මැවෙයි. උපාලි හා ජින්නා එක්ව තැම්බූ අල බතල සමඟ කොච්චි දමා තැනූ සැර ලුණු මිරිස නවකතාව කියවන විට ද සිත රසවත් කළ අයුරු ද දැනුදු මා ඉදිරියේ සජීවීව දර්ශනය වෙයි. සිතුවිලි දහසක් සිතට නැඟෙද්දී ඒ වේගයෙන්ම බෝට්ටුව මඩොල් දූව වටා වටයක් ගොස් ඇවිදින්ද හමාරය.කතාපොත කියවා අදට වසර කීයක්ද මසිත විමසන්නට විය.එදා මඩොල් දූවේ විස්තර වූ සුන්දරත්වය අද නොතිබිණි.නයි පොළගුන් වැනි සර්පයින් හෝ කිඹුලෙකු ද හමු වූයේ නැත.දූපත මුදුනට නැඟ ගත් විට සෙක්කුවක් හා පාළු ළිඳක් හමු විය. ළිඳ සම්පූර්ණයෙන් පිරී පැවතුනේ පොලිතින් , ටින් හා අරක්කු බෝතල වලිනි. මඩොල්දූව නරඹන්නට පැමිණි නොමිනිසුන්ගේ අමන ක්‍රියාවන් නිසා මිසක උපාලිලා හා ජින්නලා පැමිණ දූපත අපිරිසුදු නොකරන බව මම හොඳාකාරවම දනිමි. කිසිත් අලුත් දෙයක් නෙත නොගැටුණු මුත් සෑම තැනකම කුඩා කුඩා අඩි පාරවල් තිබිණි. මඩොල් දූව ගැන නව තොරතුරක් කියන්නට එහි බෝට්ටු පදවන්නා හෝ දැන සිටියේ නැත. නමුත් මඩොල්දූවට යාමට පහසුකම් පමණක් ඇත. නමුත් මට දැනුණු ආකාරයට මඩොල්දූවේ යන සංචාරකයින්ට එහි කිසිදු ආරක්ෂාවක් නම් නොතිබිණි. දූපත මැද තනිවූ අවස්ථාවක සොර සතුරන්ට හසුවීමක් වැනි අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවූ වොත් වගකියනා කෙනෙක් ද නොවේ. එබැවින් දූවේ ගමන් කරන අවස්ථාවන්හිදී මග පෙන්වන්නකු හෝ දූව ආරක්ෂාවට යෙදවූ අයකු සිටියේ නම් එය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන්නට තිබිණි. යුගයක අනන්තය දුටු මාර්ටින් වික්‍රමසිංහයන් අද ජීවත්ව සිටියේ නම් තමා මැවූ සුන්දර මඩොල්දූව පිළිබඳව යම් තරමක කනගාටුවක් අත් විඳිනු නියතය.
"අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"
රචනය : උදාර ජයසංඛ ©️
Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/
"අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"
රචනය : උදාර ජයසංඛ ©️
Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/
Comments
Post a Comment